🍎 ත්‍රිමාණ වැසියාගේ ද්විමාන ලෝක සංචාරය
අපි ජීවත් වන විශ්වය අපිට පෙනෙන විදිහට අවකාශීය මාන තුනකින් සමන්විතයි. මානයක් කියන්නේ සරළවම යම් වස්තුවක අවකාශීය ප්‍රමාණය දක්වන මැනිය හැකි රාශියක්. අපිට හමු වන හැම වස්තුවකම පාහේ දිග, පළල සහ උස යන මාන තුන අඩංගු වෙනවා. ද්විමානයි වගේ පේන හීනි කඩාදාසියකට පවා සුළු හෝ ඝනකමක් තියෙනවා. කොහොම වුණත් විද්‍යා ලෝකයේ එදා ඉඳන්ම නැගුණු ප්‍රශ්නයක් තමයි මේ විශ්වය තුළ තියෙන්නේ මාන 3ක් පමණද කියන එක. (අපි මෙතනදි කතා කරන්නේ අවකාශීය මාන ගැන නිසා කාල මානය පොඩ්ඩකට පැත්තකින් තියන්න) අපිට සංවේදනය නොවන වෙනත් හතර වැනි මානයක් විශ්වයේ තියෙනවා ඇද්ද? එහෙනම් අපිට ඒ මානය පේන්නේ, දැනෙන්නේ නැත්තේ ඇයි?
උපන්දා ඉඳන්ම ත්රිමානයේ ජීවත් වුණු අපිට මේ හතර වැනි මානය හිතින් මවා ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා අපිට ඊට වඩා පහසුයි ද්විමාන ලෝකයකට ත්‍රිමාන අපිව පේනවා ඇත්තේ කොහොමද කියලා මවා ගන්න එක. ඒ නිසා අද අපි කරන්න යන්නේ මේ ත්‍රිමාණ විශ්වයේ තියෙන ද්විමාන ලෝකයක සංචාරය කරන්න යන එකයි.
හිතන්නකෝ ලෝකයක් තියෙනවයි කියලා තැටියක් වගේ පැතලි. හැබැයි තැටියක් තරම් තියා සුළු වශයෙන්වත් ඝනකමක් නැති. ඉහළ රූපයේ ඇඳලා තියෙන පසුබිම වගේ. මේක තමයි පැතැල්ලන්ගේ ලෝකය! ඉතින් මේ ලෝකෙ ජීවත් වන ජීවීන් හැම කෙනෙක්මත් ඒ වගේම පැතලියී. ඒ කියන්නේ චතුරස්‍ර, වෘත්ත වගේ ද්විමාන හැඩතල සහිත ජීවීන්. උඩ රූපයේ ඉන්න කොළ පාට ‘කොටුවා’ මේ කියන පැතැල්ලන්ගෙන් කෙනෙක්. එයා ජීවත් වෙන්නේ පැතලි නිවසක. මේ ලෝකයේ පැතලි තලය දිගේ දිගට හරහට ඕනේ තරම් දුර යන්න කොටුවාට පුළුවන්. හැබැයි එයාට බැහැ කවදාවත් උඩ අතට හරි පහළ අතට හරි යන්න. කොටින්ම කිව්වොත් එයා උඩ පහළ කියලා දෙයක් තියෙනවා කියලා දන්නේවත් නෑ. මොකද එයාට සංවේදනය වෙන්නේ මාන දෙකක් විතරයිනේ. එයාට පේන්නේ, දැනෙන්නේ එයාගේ වටේ වෙන දේවල් විතරයි.
ඉතින් දවසක්දා කොටුවා තමන්ගේ පැතලි ගෙදරට වෙලා ඉන්න කොට මේ ලෝකෙට එනවා ත්‍රිමාන ජීවියෙක්. හරියට අර රූපයේ තියෙන ඇපල් ගෙඩිය වගේ. මුලින් ඇපල් ගෙඩිය ද්විමාන ලෝකයට ඉහළ ඉඳන් හරියටම කොටුවාගේ හිසට උඩින් නතර වෙනවා. හැබැයි කොටුවාට මොකුත් පේන්නේවත්, දැනෙන්නේවත් නෑ. ඔහොම ඉඳන් ඇපල් ගෙඩිය කොටුවාට කතා කරනවා. කොටුවාට සද්දේ ඇහෙනවා, ඒත් එයා වටේ බැලුවත් කතා කරන්නේ කවුද කියලා පේන්නේ නෑ. එයාට දැනෙන්නේ කටහඬ එන්නේ තමන්ගෙම සිරුර තුළින් වගෙයි! මොකද ද්විමාන තලය මත කොටුවාටත් ඇපල් ගෙඩියටත් තියෙන්නේ එකම ඛණ්ඩාංක නේ. ඔවුන් වෙනස් වන එකම ඛණ්ඩාංකය උස විතරයි, ඒත් කොටුවාට උස සංවේදනය වෙන්නේ නෑ.
කොටුවා තමන්ගේ කටහඬ විතරක් අහලා කලබල වුණු බව දැක්ක ඇපල් ගෙඩිය කොටුවාට පොඩ්ඩක් ඉස්සරහින් පැතලි ලෝකය මතට ගොඩ බහිනවා. නමුත් ත්‍රිමාන ඇපල් ගෙඩියකින් ද්විමාන පැතලි තලයකට එක පාරකට ඇතුළු වෙන්නේ හීනි තීරුවක් පමණයි. කොටින්ම කිව්වොත් ඇපල් ගෙඩියේ හරස්කඩක් පමණයි. ඒ නිසා මුලින්ම කොටුවාට පෙන්නේ ඇපල් ගෙඩියේ යටම හරියෙන් කැපුණු හරස්කඩක් වගේ පැතලි රූපයක්. ඇපල් ගෙඩිය තව දුරටත් පැතලි ලෝකය තුළට ගිලා බහින කොට, (මතක තියාගන්න, පැතලි ලෝකයට ඝනකමක් නෑනේ. ඒ නිසා ඇපල් ගෙඩියට ඒ තුළට කිඳා බහින්න පුළුවන්) කොටුවාට පේන රූපය වෙනස් වෙනවා. මොකද ඇපල් ගෙඩියේ මැද හරියේ හරස්කඩක් යට හරියේ හරස්කඩකට වඩා විශාලයිනේ. (පැත්තෙන් දක්වලා තියෙන රූපය බලන්න.) ඇපල් ගෙඩියේ උඩම හරිය වෙන කල් ගිලෙන කොට කොටුවාට පේන්නේ නටුව හරියෙන් ගත් හරස් කඩක් විතරයි.
අපි දන්නවා ඇපල් ගෙඩිය එතැනට ආවේ තුන් වන මානය දිගේ හෙමින් පහළට ඇවිල්ලා කියලා. හැබැයි කොටුවාට පේන්නේ ඇපල් ගෙඩිය (හෝ එහි හරස්කඩ ) එක පාරටම එතැන ප්‍රාදූර්භූත වුණා වගේ. මොකද එයාට උස කියන මානය නොපෙනෙන නිසා.
ඉතින් ඊට පස්සේ ඇපල් ගෙඩිය තීරණය කරනවා, කොටුවාව එයාගේ පැතලි ලෝකයට ඉහළින් තියෙන ත්‍රිමාන අවකාශ ය පෙන්වන්න එක්කගෙන යන්න. ඒ අනුව ඇපල් ගෙඩිය කොටුවාව ද්විමාන තලයෙන් ඉහළට ගෙනියනවා. එක පාරටම නම් කොටුවාට තේරෙන එකක් නෑ මොකද්ද මේ වුණේ කියලා. ඒත් දැන් ඔහුට පේනවා අවකාශයේ ඉහළ පහළ කියලා තවත් මානයක් තියෙන බව. පහළ බැලුවහම එයා දකිනවා එයාගේ නිවස. හැබැයි මීට කලින් කවදාවත් දැකලා නැති පැත්තකින්. කොටින්ම කිව්වොත් එයා තමන්ගේ නිවසේ ඇත්තම ස්වරූපය දැක්කේ එවිටයි. ඒ වගේම එයා දකිනවා තමන් වගේ තවත් පැතැල්ලන් ද්විමාන ලෝකය මත එහෙ මෙහෙ යනවා. ඔහු මෙච්චර කල් පැත්තෙන් දැකපු පැතැල්ලන්ගේ ශරීර වල කවදාවත් නොදැකපු රූපයක් ඔහු දකිනවා. ඒ තමයි ඔවුන්ගේ මතු පිට රූපය. ද්විමානයක ඉඳගෙන කාටවත් කොටුවක හෝ රවුමක මතුපිට පෙනුම ගැන අවබෝධයක් ගන්න බැහැ. ඉතින් ඇපල් ගෙඩිය එක තැනකදී නැවත කොටුවාව ඔහුගේ පැතලි ද්විමාන ලෝකය මතට බස්සවනවා.
කොටුවා එතැනින් බැස්සා විතරයි ඔහුගේ මිතුරු පැතැල්ලන් ඔහුව වට කරගන්නවා. මොකද ඔවුන් දැක්කේ කොටුවා එක පාරටම එතැන මැවුණා වගේ. ඔවුන් කොටුවාගෙන් ඇහුවහම එයා කොහේ ඉඳලද එතැනට එක පාරටම ආවේ කියලා, කොටුවා කියනවා තමන් ගමන් කළ මේ අමුතුම මානය ගැන. ඉතින් ඔහුගේ මිතුරෝ අහනවා “කොහෙද ඔය කියන අත්භූත මානය තියෙන්නේ? අපිටත් ඒ දිහාව පෙන්නන්නකෝ” කියලා. නමුත් කොටුවාට ඒක පෙන්වන්න විදිහක් නෑ. මොකද එයා දැන් නැවතත් උසක් නැති ද්විමාන ලෝකයට ඇවිල්ලා නිසා.
ද්විමාන කොටුවාට ත්‍රිමාන ලෝකය තේරුම් ගන්න අමාරු වුණා වගේ තමයි, ත්‍රිමාන අපිටත් චතුර්මාන ලෝකය තේරුම් ගන්න අමාරුයි. සමහර විට අපි ජීවත් වන විශ්වයේත් අවකාශීය මාන හතරක් හෝ වැඩි ගණනක් තියෙන්න පුළුවන්. ඒත් අපි කවදාවත් ඒවා දැකලා නැති වෙන්න පුළුවන්. හතර වැනි මානයක් තියෙනවා නම් ඒක තියෙන්නේ උස, දිග සහ පළල කියන මාන තුනටම 90’ක් ලම්භක දිශාවකින්. ඒත් මේ ත්‍රිමානය තුළ ඉඳන් අපිට කවදාවත් ඒ දිශාව පෙන්වන්න බැහැ. (බොරු නම් අතේ ඇඟිලි හතරක් අරගෙන ඒ හතරම එකිනෙකට ලම්භකව තියන්න පුළුවන්ද කියලා බලන්නකෝ) නමුත් සමහර විට චතුර්මාන වස්තු මේ වන විටත් අපේ ත්‍රිමානය දිහාවට එබිකම් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම වුණත් අපිට දර්ශනය වෙන්නේ ඒවායේ ත්රිමානමය හරස් කඩක් පමණයි. හරියට කොටුවා ඇපල් ගෙඩිය දැක්කා වගේ. ඒ වගේම චතුර්මානයේ ඉඳන් අපි දිහා බලන් ඉන්න කෙනෙකුට අපේ ශරීර වල අපි නොදකින සැබෑ හැඩය දකින්න පුළුවන් ඇති. අපි ත්රිමානයේ ඉඳගෙන මේ දකින්නේ අපේ ශරීර වල එක හරස්කඩක් පමණක් වෙන්න පුළුවන්. මේක ශරීර වලට පමණක් නෙවෙයි සෑම වස්තුවකටමත් අදාළයි. කොටින්ම කිව්වොත් අවකාශීය වශයෙන් මේ විශ්වය තුළ මාන තුනකට වඩා තියෙනවා නම්, අපි අපේ ජීවිත වල අත් විඳින්නේ යතාර්ථයේ එක පුංචිම පුංචි පැතිකඩක් පමණක් වෙන්න පුළුවන්.
පැතැල්ලන්ගේ ලෝකය (World of Flatlanders) ගැන මුලින්ම අදහසක් ආවේ දහ නව වැනි සියවසේ අග භාගයේ විසූ එඩ්වින් ඇබට් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ පොතකින්.
තොරතුරු ලබාගත්තේ ලෝ ප්‍රකට තාරකා විද්‍යාඥ කාල් සේගන්ගේ දේශනයක් ඇසුරින්.
You must be logged in to post a comment